කාබෝහයිඩ්‍රේට් (Carbohydrates)

කාබෝහයිඩ්‍රේට් කියන්නේ ශරීරයට ශක්තිය ලබාදෙන තවත් එක් වැදගත් අධිපොශකයකි(macro-nutrient).ප්‍රෝටීන් සම්බන්ධව අතිශයෝප්තියෙන් කතාකරන බොහෝ දෙනෙකු  මේ ගැන කතාකරන්නේ බිල්ලෙකු ආරෝපණය කරලා.මේ ලිපියෙන් සියලු මිත්‍යා මත ඛණ්ඩනය කරගෙන කාබෝහයිඩ්‍රේට් හි ස්වභාව,ක්‍රියාකාරිත්වය,කායවර්ධකයෙකුට අති වැදගත්කම,ගතයුතු ප්‍රමාන සහ ප්‍රයෝගික ගැටළු ගැන කතා කරමු. 

කාබෝහයිඩ්‍රේට් හි මුලික ස්වභාවය සීනි නැතිනම් මොනො-සැකරයිඩ වේ.ව්‍යුහය අනුව සරල පිෂ්ඨය(simple carbs) සහ සංකීර්ණ පිෂ්ටය(complex carbs) යනුවෙන් කොටස් දෙකකට බෙදෙනව.සරළ පිෂ්ඨය(simple carbs) යටතට glucose,fructose,galactose නමැති මොනො-සැකරයිඩද lactose ,maltose, sucrose නමැති ඩයි-සැකරයිඩද අයත් වෙනව.simple carbs ඉතා කෙටි කාලයකදී ශරීරයට අවශෝෂණය කරගන්නවා.මොකද ඒවා මුලික මොනොසකරයිඩ ස්වභාවයෙන් පැවතීම සහ ඩයිසකරයිඩ අතර බන්ධන ඉතා දුර්වල නිසා.එම නිසා ඉතා ඉක්මනින් ග්ලුකෝස් නිදහස් කරනවා.මෙවැනි ආහාර මුලාශ්‍ර High Glycemic Carbs යනුවෙන් හඳුන්වනවා.ආහාර වලට උදා. හැටියට සීනි,පාන්,සෝඩා,අර්තාපල් සහ බොහෝ ක්ෂණික ආහාර(Fast Foods) හඳුන්වන්න පුළුවන්.

සංකීර්ණ පිෂ්ඨය(complex carbs) යනු මොනො-සැකරයිඩ තුනකට වඩා වැඩිගණනක් එකතුව සෑදෙන සංකීර්ණ ව්‍යුහයක් වේ.මොනො-සැකරයිඩ 3-10 ත් අතර එකතුව ඇතිවන ව්‍යුහය ඔලිගෝ-සැකරයිඩ වන අතර 10ට වඩා එක්ව සෑදෙන ව්‍යුහ පොලි-සැකරයිඩ වේ.මේවා අතර බන්ධන ස්වභාව තරමක් සංකීර්ණ නිසා අවශෝෂණය කර ග්ලුකෝස් නිපදවීමට යන කාලය වැඩිවේ.එමනිසා මෙවැනි ආහාර මුලාශ්‍ර Low Glycemic carbs යනුවෙන් හැඳින්වෙනවා.මෙම ආහාර වලට උදා. හැටියට රතු බත්,ධාන්‍ය වර්ග,ඇට වර්ග,බතල,දේශීය අලවර්ග, එළවලු සහ පලතුරු ගත හැක.විශේෂයෙන් තන්තු(fiber) අධික ආහාර වර්ග මෙම ලක්ෂණ තීව්රව පෙන්නුම් කරනවා. 


තන්තු අධික පිෂ්ට ආහාර (එළවළු,oats,පළතුරු)

ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය ගැන සැකෙවින් කතාකරපු නිසා ප්‍රයෝගික භාවිතය ගැන කතා කරමු.අත්‍යාවශ්‍ය පිෂ්ටය එහෙම නැතිනම් ශරීරය මගින් නිපදවන්නේ නැති භාහිරින් ලබාගත යුතු පිෂ්ට වර්ග නොමැති අතර කායවර්ධකයෙකුට හෝ ඕනෑම ක්‍රියාකාරී ජිවිතයක් ගතකරන කෙනෙකුට උක්ත සඳහන් කල සරල සහ සංකීර්ණ පිෂ්ට වර්ග දෙකම වැදගත් වෙනවා.ක්‍රීඩකයෙකු තම පුහුණුවීම් අවසානයේ ලබාගත යුතු වඩා යෝග්‍යම පිෂ්ට විශේෂය වන්නේ සරළ පිෂ්ටයයි(simple carbs).එමගින් ශරීරයෙන් ගිලිහිගිය ශක්තිය ක්ෂණිකව ලබාදෙනවා.තවද මාංශපේශි වල recovery සහ වර්ධනයටද පිෂ්ටය නිසා ශරීරයට නිකුත් කරන ඉන්සියුලින්, ප්‍රෝටීන් ඇතුළු අනෙකුත් පෝෂක ශරීරය පුරා ප්‍රවාහනයට සහ අවශෝෂනයටද වැදගත් වේ.සමස්තයක් හැටියට ශරීරයට ලබාගැනීමට සුදුසු හොඳම පිෂ්ට මුලාශ්‍රය වන්නේ සංකීර්ණ පිෂ්ටයයි(complex carbs).විශේෂයෙන් ඔබ Fat Loss programme එකක් නම් කරන්නේ ඔබට වඩා යෝග්‍යවන්නේ සංකීර්ණ පිෂ්ඨයයි.මන්දයත් එකවර ශක්තිය නිදහස් නොකර ක්‍රමානුකුලව නිදහස් කරන බැවින් නිතර නිතර කුසගිනි නොදැනේ.මෙය ආහාර පාලනය කරන්නවුන්ට ඉතා වැදගත් වේ.

කබෝහයිඩ්‍රේට පමණක් නොවැ ඕනෑම පෝෂකයක ශරීරයට අවශ්‍ය ප්‍රමාණය නිර්ණය වන්නේ වයස,බර,උස,ස්ත්‍රිපුරුෂ භාවය,අරමුණු සහ ක්‍රියාකාරී මට්ටම වැනි කාරනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.එය ඉතා   නිරවද්‍යව පහත link එකට ගොස් සිදුකරගත හැක. 
http://www.bodybuilding.com/fun/macronutrients_calculator.htm

අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ තුන්වේල බත් කාල අහස සීමාව කරගෙන දැවැන්ත නිර්මාණ කරපු නිරෝගී ජාතියක් අද දේශීය සහල්,ධාන්‍ය,අටවර්ග,අලවර්ග ගැන කතානොකර විදේශීය ආහාර මුලාශ්‍ර ගැන කතා කරනවා.මාතෘකාවට ආවොත් කාබෝහයිඩ්රේට කියන්නේ බිල්ලෙක් නෙවේ.එහෙම නැත්නම් අධිපොශකයක් හැටියට නම් කරන්නේ නෑනේ.අප කලයුත්තේ ඉලක්ක හඳුනාගෙන ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන විදියට නිවැරදි ප්‍රමාණයන්ගෙන් ශරීරයට ලබා ගැනීමයි.මේ සියලු කාරණා ඉතා පැහැදිලිව ඉහතින් විස්තර ඇති බැවින් ඔබත් දැනුවත් වී අන් අයත් දැනුවත් කරන්න.(වැරද්දක් ඇතොත් අපව දැනුවත් කරන්න) 

අපට පහසුවෙන් ලබාගත හැකි හොඳ පිෂ්ට මුලාශ්‍ර කිහිපයක්,
සහල්(රතු බත්,කළු හීනටි,පච්චපෙරුමාල් (දේශීය සහල්)
කොස්
දෙල්
මෛයෝක්කා
අලවර්ග(බතල,රාජ අල,කුකුලල,කිරි අල)
සියලු ධාන්‍ය වර්ග
රනිල කුලයේ ශාක
සියලුම එළවලු,පලතුරු
පරළු පාන්
සමපෝෂ