කෙට්ටු වීම රෝගයක්ද?

ලෝකයේ බොහෝ පිරිසක් තරබාරු බවින් පෙළෙන විට තවත් පිරිසක් අධික කෘශ බවෙන් පෙළෙනවා. බොහෝ අය තරබාරු බවින් මිදෙන්න නොකරන දෙයක් නැති තරම්. ඒ වගේම අධික ලෙස කෙට්ටු අයත් මහත් වෙන්න කියලා නොකරන දෙයක් නැති තරම්.
ඒ වෙනුවෙන්ම වෙන් වුණ වෙබ් අඩවි, පත්තර පිටු, ටීවී වැඩසටහන් ඕනෑතරම්. කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑනේ, ඇගේ කිසි හැඩයක් නෑ, ලස්සන ඇඳුමක්වත් අඳින්න බෑනේ වගේ ගැටලූ කෝටියයි. වෙලාවකට ඒක මානසික වදයක්. මහත් වුණාම කෙට්ටු වෙන්න ලෙහෙසි නැහැ වගේම ඕනෑවට වඩා කෙට්ටු වුණාම මහත් වෙන එකත් ලෙහෙසි නෑ.

කෙට්ටු වෙන්නේ ඇයි?
බොහෝ දෙනෙක් කෙට්ටුයි කියල හඳුන් වන්නේ ශරීරය පිටතින් බලලා. නමුත් විද්‍යාත්මකව දරුවකු හෝ වැඩිහිටියකු කෙට්ටුයි කියා හඳුන් වන්න පුළුවන් වෙන්නේ උසට සරිලන බර නැති වූ විටයි. මෙහි දී අපි පසුගිය සතියෙත් පැහැදිලි කළා වගේම ශරීර ස්කන්ධ ඒකකය (BMI දර්ශකය) වැදගත් වෙනවා. ඒ වගේම පුද්ගලයකුට අවශ්‍ය කැලරි ප‍්‍රමාණය නොලැබී ගියහොත් පෝෂණ ඌනතාවක් ඇති වී එය කෙට්ටු වීමට බලපෑ හැකියි.

පෝෂණ ඌනතාව සහ තවත් හේතු කිහිපයක්ම කෙට්ටු වෙන්න බලපානවා. නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වීම කෙට්ටු වීමට බලපාන ප‍්‍රධාන සාධකයක්. කෙනකු රෝගී වූ විට එම පුද්ගලයාගේ පෝෂණ අවශ්‍යතාව වැඩි වෙනවා. නමුත් ආහාර රුචියක් ඇති වන්නේ නෑ. මේ නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය නිසි ආකාරව ලැබෙන්නේ නෑ. නමුත් යම් යම් රෝගී තත්ත්ත්ව හේතුවෙන් කෙට්ටු බව ඇති විය හැකියි. හොඳින් මහතට සිටි කෙනෙක් හදිසියේ කෙට්ටු වෙනවා නම් ඊට හේතු සොයා බැලිය යුතුයි. ඒ වගේම යම් යම් මානසික හේතු කාරණා නිසාත් කෙට්ටු බව ඇති විය හැකියි.



කෙට්ටු වෙනවා කියන්නේ ලෙඩක්ද?
යම් අවස්ථාවක දී කෙට්ටු වීම කියන්නේ රෝගයක් විය හැකියි. වෛද්‍ය විද්‍යාවේ දී කෙට්ටු බව සම්බන්ධයෙන් අප හඳුනා ගන්නා රෝගී තත්ත්ව කිහිපයක් තියෙනවා. එක් රෝගී තත්ත්වයක් තියෙනවා Anorexiaකියලා. විශේෂයෙන් ස්ත‍්‍රී පක්ෂයේ අයට Anorexia රෝගය වැලඳීමේ ප‍්‍රවණතාව වැඩියි. වාසනාවකට ලංකාවේ මේ තත්ත්වය අඩුයි. මෙහි දී සිදු වන්නේ ආහාර ගැනීම ප‍්‍රතික්ෂේප කරන එක. එහෙම වෙන්න හේතුව වෙන්නේ තමන් මහත වැඩියි කියල හිතෙන එක. ගොඩාක් කෙට්ටු කෙනකුට වුණත් මහත වැඩියි කියලා හිතෙනවා. ඔවුන්ට ඕන වෙන්නේ ශරීරයේ බර වැඩි වෙන එක නවත්වා ගන්න. ශරීර ස්වභාවය ගැන හරියට වද වෙනවා. මේ Anorexia කියන රෝගී තත්ත්වයේ දී ජීවිතය පවා නැති විය හැකියි. ඒ වගේම මරණවලට හේතුවන ප‍්‍රධානම මානසික රෝගයක් විදිහටත් මේ Anorexia රෝගය හඳුන්වන්න පුළුවන්. මෙම රෝගය වැලඳුන අයගෙන් 5% -20% ත් අතර ප‍්‍රමාණයක් මිය යනවා. විශේෂයෙන් මේ තත්ත්වය තරුණ වියට එළැඹීමත් සමඟ වැලඳීමේ හැකියාව වැඩියි.

අනෙක් රෝගී තත්ත්වය හඳුන් වන්නේ Bulimia ලෙසයි. Bulimia කියන රෝගී තත්ත්වයේ දී සිදු වෙන්නේ එවැනි අය කෑම කනවා, කාලා ඕනෑකමින්ම වමනය දානවා, ඒ බර අඩු කරගන්න. මේ දෙකම මානසික රෝගී තත්ත්ව. ඒ වගේම සුවපත් කිරීමත් ලෙහෙසි කාර්යයක් නෙවෙයි. විශේෂයෙන්ම Anorexia කියන රෝගී තත්ත්වය.



ඇතිවිය හැකි අතුරු ආබාධ
බටහිර රටවල බොහෝ දෙනා උත්සාහ ගන්නේ බර අඩු කරගන්න. ලංකාවේ අය බර වැඩි කර ගන්නත් උත්සාහ කරනවා. මේ සඳහා විවිධ ක‍්‍රම අනුගමනය කරනවා. සමහර අය හෝර්මෝන පෙති ගන්නවා. එවැනි හෝර්මෝන පෙති ගත්තම වෙන්නේ මහත් වෙන එක. එහි අතුරු ආබාධ වැඩියි.

ඒ වගේම බර අඩු කරනවා කියලා බොහෝ අය කරන්නේ කාබෝහයිඩ්‍රේට් කියන කෑම කාණ්ඩය අයින් කරන එක. කෑම ගැන, පෝෂණය ගැන හිතන්නේ නැතිව බර ව්‍යායාම කරනවා තවත් බර අඩුවෙන්න. කෑම කන්නේ නැති වුණාම එදිනෙදා අවශ්‍ය පෝෂණය ශරීරයට ලැබෙන්නේ නෑ. සාමාන්‍ය පෝෂණයවත් ශරීරයට ලැබෙන්නේ නැතිව ශරීර ක‍්‍රියාකාරිත්වය වැඩි වුණාම අතුරු ආබාධ ඇතිවිය හැකියි. හෘද ස්පන්දනය වැඩි වීම, හදවතේ වෙනස් වීම ඇති වීම ඉන් එහාට ගොස් හදවත අකර්මණ්‍ය වීම පවා විය හැකියි.

ඒවායේ අතුරු ආබාධ වැඩියි. දියවැඩියාව, ස්ටියෝපොරෝසිස්, විෂබීජ ඇතුළු වීම, ඇසේ කාචය සුදු වීම, දරුණු විජලන තත්ත්වයන් ඇති වී වකුගඩු පවා අකර්මණ්‍ය විය හැකියි. ඒ වගේම බර වැඩි කිරීම සඳහා තෙල් තැන්පත් කිරීම හොඳ දෙයක් නෙවෙයි.



මේ වගේ තත්ත්වයක දී මොකද කරන්නේ?
ශරීරයට අවශ්‍ය විටමින්, ඛනිජ ලවණ සහ යකඩ අඩු වූ විට කෙට්ටු වෙනවා. සාමාන්‍ය තත්ත්වයක දී කළ හැක්කේ ශක්තිජනක ආහාර ලබා ගැනීමයි. එසේ නොවී ඕනවට වඩා කෙට්ටු කෙනකුට කෘශ බවෙන් මිදෙන්න අවශ්‍ය නම් කළ යුතු එකම දෙය වන්නේ පෝෂණවේදියකු හමු වීමයි. ඒ සඳහා ෂබඑැරබැඑ එකේ තියෙන, පත්තරවල තියෙන ආහාර වට්ටෝරු පස්සේ යන එක සුදුසු දෙයක් නෙවෙයි. මොකද පිටරට ආහාර වට්ටෝරු ලංකාවේ මිනිසුන්ට ගැළපෙන්නේ නෑ. අපේ ආහාර වට්ටෝරුවට කොළ පැහැති එළවළු , කෙඳි සහිත ආහාර එකතු කරලා පෝෂ්‍යදායී ආහාර ගන්න එක තමයි හොඳම ක‍්‍රමය.

මහාචාර්ය අර්ජුන ද සිල්වා
කැළණිය වෛද්‍යපීඨයේ වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශ ප‍්‍රධානී
සාකච්ඡා කළේ - ප‍්‍රදීපා වීරසේකර